සංකීර්ණ වූ අස්ථි බිඳීම් වලට ප්‍රතිකාර

කුඩු වූ කකුල් සවි කරන, ඇද කකුල් කෙලින් කරන කොට කකුල් දික් කරන Ilizarov රාමුව: ළමුන්ගේ හා වැඩිහිටියන්ගේ කැපීමට නියමිත කකුල් නොකපා සුව කරන බටහිර වෛද්‍ය විද්‍යාවේ අලුත්ම විශ්මිත සැත්කම.

මෑතකදී සිදුවූ අස්ථි බිඳීම හා කල් ගතවූ එහෙත් මේ දක්වා සුව නොවී පවතින අස්ථි බිඳීම්, වගේම විවිධ සංකූලතාවලට ලක් වී ඇති අස්ථි බිඳීම් වලට ප්‍රතිකාර කිරීම හා සහන සැලසීමේ හැකියාව මෙම නව ක්‍රමයේ ඇති විශේෂ ලක්ෂණයකි. ඇදට සවිවුනු අස්ථි කොටස්, කකුල කොට වුණු පෙනුම, ආසාදනයට ලක් වූ අස්ථි බිඳීම් යථාතත්වයට පත් කිරීමේ සැත්කම් වලට මෙම ක්‍රමය විශාල උපකාරයක් ලෙස දැක්විය හැකියි. (මේ සමග ඇති රූපසටහන බලන්න.)

සංකීර්ණ අස්ථි බිඳීමක් ලෙස හඳුන්වන්නේ කුමක්ද ?

අස්ථි බිඳීමක සංකීර්ණ බව කාරණා කිහිපයක් මත රඳා පවතිනවා. මුලින්ම සඳහන් කළ හැක්කේ අදාල අස්ථිය බිඳී ඇති කැබලි ගණනයි. සරල බිඳීමකදී අස්ථිය ප්‍රධාන කැබලි දෙකකට කැඩී යන අතර සංකීර්ණ කැඩීමකදී කැබලි ගණන ඊට වඩා වැඩියි. (රූපය අංක 2, 4 හා 5 බලන්න)

මීළඟ කාරණාව වන්නේ අස්ථියට පරිබාහිරව පවතින පටක වලට සිදුවන හානිය හා එහි ස්වභාවයයි. සමට සිදුවන හානිය මුල් තැනක් ගන්නවා. එයට හේතුව සමේ ඇති තුවාලය හරහා අස්ථිය බාහිරට නිරාවරණය වීම මඟින් විෂබීජ පහසුවෙන් ගමන් කිරීම නිසා ආසාදනයට ලක් වීමයි. මීට අමතරව රුධිර වාහිනී ස්නායු හා පේශි පටක වලට හානි සිදුවිය හැකිය. සමහර තුවාල සිදුවන අවස්ථාවලදී බිඳී ගිය අස්ථි කොටස් ශරීරයෙන් ඉවත් වී යාමක් වන අවස්ථා ද දුලබ නොවේ. (රූපය අංක 4 බලන්න)

මෙම ක්‍රමයෙන් වාසි සැලසෙන්නේ කුමන රෝගීන්ට ද ?

රිය අනතුරු, වැටීම්, පහරදීම්, යාන්ත්‍රික උපකරණ භාවිතයෙන් හා බඳින තුවක්කු පත්තු වීමෙන් අපර ගාත්‍රා වලට වැඩියෙන් හානි සිදුවෙනවා. වේගවත් ඝට්ටණයක දී සිදුවන තුවාලය දරුණු බව වැඩි වෙනවා. මෙවන් රෝගීන්ගේ දණහිසින් ඉහල හා පහල කොටස්වල සිදුවන අස්ථි බිඳීම් වලට ප්‍රතිකාර කිරීමට මෙම ක්‍රමය වඩාත් යෝග්‍යයි. ඉහත අවස්ථා වලදී සිදුවන සරල හා සංකීර්ණ මට්ටමේ අස්ථි බිඳීම් සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව සුව කිරීමේ උපායමාර්ග මෙම ක්‍රමය සතුව තිබෙනවා.

මීට අමතරව කල්ගත වූ සංකීර්ණ අස්ථි බිඳුම් සුව නොවූ අවස්ථා වලදී ඒවා සංකූලතා වලට භාජනය වී ඇති විට හා සාමාන්‍ය අස්ථි සවි කිරීම් අසාර්ථක වූ විට අස්ථිය සුව කිරීමට තිබෙන හොඳම මග ලෙස ඉලිසරෝව් (Ilizarov) ක්‍රමය දැක්විය හැකිය.

ඉලිසරෝව් (Ilizarov) ක්‍රමයෙන් ප්‍රතිකාර කරන්නේ කෙසේද ?

මෙහිදී මූලිකව සිදු කරන්නේ බිඳීගිය අස්ථි කොටස් ඒවායේ මූලික ස්වරූපය ලැබෙන පරිදි කකුල වටා යන වෘතාකාර ලෝහ රාමු කිහිපයකට සියුම් කම්බි ආධාරයෙන් සවිකිරීමයි. සාමාන්‍ය අවස්ථාවක දී බාහිරින් යොදන කැපුම් කිසිවක් නොමැතිව එම ආධාරකය මඟින් කකුල සවිකර හැකියි. හම මත ඇතිවන්නේ සියුම් කම්බි (1-2 mm) ගමන් කිරීමට අවශ්‍ය වන සිදුරක් පමණයි.

සාමාන්‍යයෙන් කකුල සවිකිරීමට වලලු හතරක් වැනි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. වලලු ප්‍රමාණය එකිනක අතරද සවි කිරීම් සිදුවනවා. මෙම රාමුව ඉතාමත් ශක්තිමත්. එම නිසා රෝගියාට ශල්‍යකර්මයෙන් පසුව ශරීරයේ බර යම් ප්‍රමාණයක් හෝ සම්පූර්ණ බරම යොදවා හෝ ඇවිදීමේ හැකියාව ලැබෙනවා එසේ ඇවිදීම අස්ථි ඉක්මනින් සුව වීමටත් බලපානවා.

මීට අමතරව ප්‍රතිකාර කරන කාල සීමාව තුලදී බිඳුණු අස්ථියේ යාබද සන්ධි වල ක්‍රියාකාරීත්වයේ හා කකුලේ පේෂි වල ක්‍රියාකාරිත්වය ප්‍රශස්තමට්ටමෙන් පවත්වාගැනීමට මෙම ක්‍රමයෙන් ඉඩ සැලසෙනවා.

විනාශ වූ අස්ථි කොටස් නැවත සෑදීමේ හැකියාවක් තිබේද?

ඉහත දී සඳහන් කළ අස්ථිවල නැතිවිය ගිය කොටස් නැවත ලියයළීමට සැලැස්වීමේ හැකියාව මෙම ක්‍රමයේ ඇති විශේෂත්වයක්. ඉවත් කළ අස්ථි කොටස් නිසා කකුල කෙටීවීමකින් තොරව සුව කිරීමේ හැකියාව හා ඒ සඳහා අවස්ථාවක් මෙම ක්‍රමයෙන් උදා වෙනව.

උදාහරණයක් ලෙස සෙන්ටි මීටර් 10 ක පමණ අස්ථි කොටසක් අහිමි වූ හිඩසක් පවා නැවත පිරවීමේ හැකියාව මෙම ක්‍රමයට තිබෙනවා. එම නිසා කකුල් එකවර කපා ඉවත් නොකර සුව කිරීමට ඇති හැකියාව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් මෙම ක්‍රමයෙන් සැලසේ. (රූපය අංක 1 හා 7 බලන්න)

මීට අමතරව ඉලිසරෝව් (𝐈𝐥𝐢𝐳𝐚𝐫𝐨𝐯) ක්‍රමයෙන් ප්‍රතිකාර කළ හැකි අවස්ථා මොනවාද?

මුලින්ම සඳහන් කළ යුත්තේ විවිධ ප්‍රතිකාර ක්‍රම භාවිතාකරත් මේ දක්වා සම්පූර්ණ සුවයක් නොලත් අස්ථි බිඳීම් සුව කිරීමේ හැකියාවක් මෙම ක්‍රමයට තිබේ.

මෙවන් අවස්ථා තරමක් සුලබව දක්නට ලැබෙ. අස්ථි බිඳුම් සුව නොවීමට ප්‍රධාන හේතුවක් ලෙස දැක විය හැක්කේ මුලින් සිදු වූ අස්ථි බිඳීමේ සංකීර්ණ බවයි. ඊට අමතරව විද්‍යාත්මක ප්‍රතිකාර වලින් බැහැරව පාරම්පරික වේදකම් වලට යොමු වීම ද තවත් හේතුවකි. (රූපය අංක 2 හා 3 බලන්න)

ඇද වුණ, ඇදවී සවි වුන අස්ථි කොටස් මෙම රාමුව ආධාරයෙන් සාමාන්‍ය ස්වරූපය කරා අස්ථි ගෙන ඒමටත් මෙමගින් හැකියාව තිබෙනවා. ශල්‍යකර්මයකින් තොරව අස්ථි බිඳුම් වලට ප්‍රතිකාර කළ විට ඇදවී සවි වීමහි නැඹුරු භාවයක් පවතිනවා. (රූපය අංක 8 බලන්න)

සමහර අවස්ථාවල දනහිසෙන් පහළ කොටස් කොට වීමට ලක් වෙන අවස්ථා පවතිනවා. මෙය උපතින්ම වෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාවල කකුලේ දිග යථාතත්වයට පත් කිරීමටත් ඉලිසරෝව් රාමුව උපකාරී වෙනවා. උපතින්ම සිදු වන හා තුවාල වීමෙන් පසු පාදයේ ඇතිවන අංග විකලතා මග හැරීමටත් මෙම ක්‍රමය භාවිතා කළ හැකියි. කුඩා ළමයින්ගේ මෙය බහුලව දැකිය හැක.
(රූපය අංක 6 බලන්න)

දිය වැඩියා රෝගීන්ට මින් වාසියක් තිබේද (Charcot Foot)

ඔබට දැන්විය හැකි තවත් කරුණක් නම් දියවැඩියා රෝගීන්ගේ පාද හා වළලුකර සන්ධියේ අස්ථි විනාශවීමේ තත්ත්වයක දී ද මෙම ක්‍රමය මගින් ප්‍රතිකාර කළ හැකියි.

දියවැඩියා රෝගීන්ගේ සිදුවන කකුලේ අස්ථි බිඳීම් වලට ප්‍රතිකාර කිරීමට මෙම ක්‍රමය ඉතාම යෝග්‍ය වෙනවා. එයට හේතුව දියවැඩියා රෝගීන්ගේ තුවාල පැසවීමට ලක් වීමට වැඩි හැකියාවක් පවතින නිසයි.

අප හමුවන්න

සාරාංශ ලෙස සඳහන් මෙම ක්‍රමය භාවිතයෙන් රෝගීන්ගේ කකුල් කපන ප්‍රමාණය අඩුවී කකුල් සුව කර ගැනීමට පුලුවන් කම ලැබී ඇත. ඔබට මේ ආශ්‍රිත ගැටළු සහ මේ පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය නම් අප හා සම්භන්ද වන්න.